අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පිළිබඳ තොරතුරු

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන පරිසර ගැටලුවලින් එකකි. මාර්ග දෙපස සහ තෙත් බිම්, වගුරු බිම්, රක්ෂිත වැනි සංවේදී පරිසර කලාපවල කසල බැහැර කිරීම මහජනතාව මෙන්ම ඇතැම් පළාත් පාලන ආයතන මඟින් ද අනුගමනය කරනු ලබන සාමාන්‍ය පුරුද්දකි. කසල බැහැර කිරීම කෙරෙහි ජනතාව තුල පවතින ආකල්ප මෙන්ම කසල ගැටලුව නිරාකරණය කිරීමට නිසි ක්‍රමවේදයන් යොදාගැනීමට අදාල පළාත් පාලන ආයතනවලට පවත්නා නොහැකියාව නිසා ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මෙයට හේතුවයි.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශය සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති (ක්‍රියාත්මක කිරීම/සැකසීම) කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස පිහිටුවන ලද රජයේ ආයතනයකි. බස්නාහිර පළාත තුළ දිනකට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3500ක් පමණ ජනනය වන අතර එය රටේ මුළු අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 60කි. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්නන් ලියාපදිංචි කිරීම, ආහාර අපද්‍රව්‍ය කොම්පෝස්ට් කිරීමේ පහසුකම් සලසන ස්ථාන 21 ක් අධීක්ෂණය කිරීම සහ කසළ ජනනය අවම කිරීම, ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම, ජීව වායු නිෂ්පාදනය කිරීම සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳ පුහුණු, තාක්ෂණික මාර්ගෝපදේශ සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි. මෙම කොම්පෝස්ට් “මිහිසරු” නමැති වෙළඳ නාමය යටතේ අලෙවි කෙරේ .

අප ගැන (අධිකාරිය පිළිබඳව)

ආරම්භයේ සිට රැස් කරගත් අත්දැකීම් රාශියක් සමඟින්, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පහසුකම් සපයන ආයතනයක් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දී ඇත. අපද්‍රව්‍ය පිරිසැකසුම සඳහා “මිහිසරු” සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීම මගින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සිය සීමාවන් පුළුල් කර ඇත. තෝරාගත් ක්ෂේත්‍ර පිළිබඳ දැනුම, පළපුරුද්ද සහ ප්‍රවීණතාවයෙන් පිරිපුන් දක්ෂ කාර්ය මණ්ඩලයක් අධිකාරිය සතුව ඇත. එබැවින්, අපගේ සේවාවන් විවිධාංගීකරණය කරමින් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපදේශන සේවා ලබා දීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වන පාරිසරික සේවාවන් සැපයීම, ක්ෂේත්‍ර පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම, පුහුණුව ලබා දීම සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතික කිරීම වැනි කටයුතු දක්වා තවදුරටත් සේවාවන් ව්‍යාප්ත කළෙමු. මීට අමතරව, පොහොර විශ්ලේෂණය සඳහා රසායනාගාර පරීක්ෂණ සේවා සැපයීම, අපද්‍රව්‍ය ගුනාංගීකරනය සහ ජල තත්ත්ව පරීක්ෂාව දක්වා අපගේ සේවාවන් පුළුල් කර ඇත. මෙතෙක් ගතවූ කාලය පුරා විශ්වසනීය හා ශක්තිමත් ආයතනයක් බවට පරිවර්තනය වීමට අප ආයතනයට හැකි වී ඇත.

දැක්ම

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණයේ සංකේතය බවට පත් වීම

මෙහෙවර

පරිසරය ආරක්ෂා කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා බස්නාහිර පළාත තුළ හඳුනාගත් කසළ කළමනාකරණ උපාය මාර්ග මත පදනම්ව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම කසළ කළමනාකරණයේ නව්‍ය සහ සේවාලාභී අභිරුචිය අනුව සැකසූ විසඳුම් ලබා දීම. අපද්‍රව්‍ය කළමනාකරණ අංශය අඛණ්ඩව සංවර්ධනය කරන අතරම නම්‍යශීලී බව සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම, පුළුල් පාරිභෝගික පිරිසකට තිරසර බව අත් කර ගැනීම පිණිස පුහුණුව, පර්යේෂණ සහ සංවර්ධනය ලබාදීම.

වටිනාකම්

අධිකාරියේ මූලික වටිනාකම් වන අවංකභාවය, වගවීම, ආරක්ෂාව, වෘත්තීයභාවය, ගෞරවය, අන්තඃකරණය, විවිධත්වය සහ සේවක සවිබල ගැන්වීම් දක්වා මෙය දිවෙන අතර අධිකාරියේ ක්‍රියාකාරකම්වල සෑම අංශයකදීම සාධාරණ හා අවංක ගනුදෙනුවක් ඉටුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන අතර වෘත්තීය මාර්ගෝපදේශනය ද සපයනු ලැබේ.

මෙරිල් පෙරේරා මහතා

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති

බස්නාහිර පළාතේ ජීවත්වන ජනතාව සඳහා "අපද්‍රව්‍ය වලින් තොර පරිසරයක්" ලබාදීමේ දැක්ම ඇතිව, 2007 අංක 01 දරන බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රඥප්තිය යටතේ ක්‍රියාත්මක වන බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය බස්නාහිර පළාත තුළ පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 49ක් සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරයි.

පළාත් සභාව යටතේ පිහිටුවා ඇති ආයතනයක් ලෙස “අපද්‍රව්‍ය ගැටළුවකි” යන සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණයෙන් බැහැරව “අපද්‍රව්‍ය සම්පතකි” යන ආකල්පය ඇතිව අපද්‍රව්‍යවලින් අඛණ්ඩව ආදායමක් උපයා ගැනීමේ උපාය මාර්ග සකස් කරමින් පවතින අතර තිරසර සංවර්ධනයක් තුළින් ඉදිරියට යමින් සංවර්ධිත ආර්ථිකයක් කරා යන රජයේ අභිමතාර්ථ සපුරා ගැනීමට එය හේතු වනු ඇත.

මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා නිරන්තරයෙන් වෙනස් වන පරිභෝජන රටාව හේතුවෙන් ඇතිවන අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝගවලට ඵලදායි ලෙස මුහුණ දීම සඳහා තාක්ෂණික සහය ලබා දීමට පසුගිය දශක දෙකක පමණ කාලය තුළ අපි කාර්යක්ෂමව ක්‍රියා කළෙමු. බස්නාහිර පළාතේ වෙසෙන ජනතාවට නවීන තාක්‍ෂණය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරමින් කසළ පිරියම් කිරීමේ කඩිනම් ක්‍රමවේද හඳුන්වා දෙමින් ගුණාත්මක අපද්‍රව්‍ය කළමනාකරණ සේවාවක් අඛණ්ඩව සැපයීම අපගේ මූලික අරමුණයි.

නලින් මාන්නප්පෙරුම මහතා

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ

සමස්ථ දිවයින පුරා ජනනය වන නාගරික අපද්‍රව්‍යවලින් 60%කට වඩා වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් කළමනාකරණය කිරීමට ඉමහත් දායකත්වයක් සපයන බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මෙම පණිවිඩය ලබා දීමට හැකි වීම මා ලද විශාල ගෞරවයකි.

දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ආර්ථිකයක් සමඟින් බස්නාහිර පළාත තුළ ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම නිමක් නැති අභියෝගයකි.

චක්‍රීය ආර්ථිකයක් තුළ, අපද්‍රව්‍ය කළමනාකරණයේ වර්තමාන ගෝලීය ප්‍රවණතා අනුගමනය කරමින්, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය "අපද්‍රව්‍ය සැබෑ සම්පතක් බවට පත් කරමු" යන තේමාව අනුව කටයුතු කිරීම සඳහා වඩාත් තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රවේශයක ගමන් කරයි. බස්නාහිර පළාත වඩාත් ඵලදායී ලෙස පිරිසිදු ස්ථානයක් බවට පත් කිරීමට අධිකාරිය දශක දෙකක කාලයක් පුරා විශාල සේවාවක් ඉටු කර ඇත. දැනුමෙන්, කුසලතාවෙන් හා පළපුරුද්දෙන් පොහොසත් කාර්ය මණ්ඩලයක් සමඟින් අපගේ ආයතනය නඟා සිටුවීමට අපට හැකි වී ඇති අතර ලැබී ඇති භෞතික සම්පත් තුළින් ප්‍රජාවට කාර්යක්ෂමතාවයෙන් හා ඵලදායිතාවයෙන් යුතුව සේවයක් ලබා දීමට කැපවී සිටින්නෙමු.

ආයතනික ඉතිහාසය

ඝන අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැරකිරීම හා බැඳුණු බරපතල ගැටලු මඟහරවා ගැනීම සඳහා බස්නාහිර පළාත් සභාව ඒ සඳහා ඵලදායී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බැලීය. ඒ අනුව වර්ෂ 1999 දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් කසළ කළමනාකරණය සඳහා අධිකාරියක් පිහිටුවීමට සමත් විය.

1999 අංක 09 දරන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ප්‍රඥප්තිය බස්නාහිර පළාත් සභාව විසින් 1999 වසරේදී සම්මත කරන ලද අතර ඒ අනුව 2004 වසරේදී බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විධිමත් ලෙස ස්ථාපිත කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයෙන් පසු පිහිටවු මුල්කාලීන අධිකාරියක් වූ මෙම අධිකාරිය එහි පරිපාලන හා කළමනාකරණ භූමිකාවන් පළාත් සභාව වෙත පැවරීය. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය තවමත් පළාත් මට්ටමින් කසළ කළමනාකරණය සඳහා ඇති එකම විශේෂිත අධිකාරිය වේ.

මෙය ශ්‍රී ලංකාවේ පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලියේ පළමු නව්‍ය පියවර වූ බැවින්, අධිකාරිය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එහි පරිපාලන ව්‍යුහය, සේවක සංඛ්‍යාව අනුමත කිරීම සහ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සංවිධානය කිරීමට කලක් ගත විය.

අපද්‍රව්‍ය ගැටලුවක් බවට පත්වෙමින් තිබීම හේතුවෙන් ආරම්භයේ දී මෙම ආයතනයෙන් සේවා ලබා ගැනීම සඳහා පළාත් පාලන ආයතන, දේශපාලන නායකත්වය, සෞඛ්‍ය හා පරිසරය පිළිබඳව වගකීම දරණ රාජ්‍ය ආයතන, සිවිල් සමාජය සහ සාමාන්‍ය ජනතාව වැනි පළාතේ විවිධ අංශවලින් විශාල ඉල්ලුමක් පැවතුණි. මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා 2004 දී පරිත්‍යාගශීලී සංවිධානවල තාක්ෂණික සහාය ඉල්ලා සිටි අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID)/ එක්සත් ජනපද-ආසියානු පාරිසරික හවුල්කාරිත්වය (USAEP) ඉදිරිපත් වී බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියෙහි ධාරිතාව විධිමත් කිරීම සහ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය සහ බස්නාහිර පළාත් සභාව සමඟ ඒකාබද්ධ වැඩසටහනක් සකස් කරන ලදී . 2004 සහ 2005 වර්ෂයන්හි දී USAID/USAEP තාක්ෂණික සහ මූල්‍ය ආධාර වැඩසටහන සමඟින්, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් තම සේවාවන් වඩාත් හොඳින් සලකා බැලීම සඳහා පරිපාලනය, තාක්ෂණික සහ නෛතික භාවිතයට සුදුසු නව්‍ය උපාය මාර්ග හඳුනා ගන්නා ලදී.

එම USAID/USAEP වැඩසටහන යටතේ, බස්නාහිර පළාත් සභාව 2007 අංක 01 දරන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ප්‍රඥප්තිය මඟින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හි නෛතිකභාවය තවදුරටත් ශක්තිමත් කරන ලද අතර, අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ උපදේශක කමිටුවක් පිහිටුවීම, දඬුවම් ක්‍රමයක් හඳුන්වාදීම සහ අතුරු ව්‍යවස්ථා සෑදීම සඳහා පළාත් පාලන ආයතන බලගැන්වීම වැනි නව්‍ය අංග ඇතුළත් කර ඇත.

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියෙහි අරමුණ

අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රඥප්තිය මඟින් අපේක්ෂා කරන අරමුණු:

  1. 2009 අංක 01 දරණ ප්‍රඥප්තියෙන් සංශෝධිත 2007 අංක 01 දරණ ප්‍රඥප්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම
  2. පරිසරය තුළ අපද්‍රව්‍ය එක්රැස් වීම වැළැක්වීම සහ පළාත තුළ ජීවත්වන මහජනතාවගේ මෙන්ම ශාඛ හා සත්ත්ව සංහතියේ යහපැවැත්ම සඳහා පිරිසිදු වාතාවරණයක් පවත්වා ගැනීමට ප්‍රතිපාදන සැලසීම.
  3. අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාර්යයන් නියාමනය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, උපදෙස් ලබා දීම, සංවිධානය කිරීම සහ අධීක්ෂණය කිරීම.
  4. බස්නාහිර පළාත තුළ ජනනය වන අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට හානියක් නොවන පරිදි ප්‍රවාහනය කිරීම සහ ගබඩා කිරීම සහ එයින් සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් තිබේ නම් ඒවා නිර්ණය කර තක්සේරු කිරීම හා ඒවා වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම.
  5. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම.
  6. අවිචාරවත් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා දූෂණයට ලක් වූ ස්ථාන සහ කලාප එම තත්වයෙන් මුදාගැනීමේ අරමුණින් උපදෙස් නිකුත් කිරීම සහ ඒ හා සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම.
  7. දේශීය හෝ විදේශීය සහය ඇතිව පළාත තුළ සිදු කරනු ලබන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ සියලු ව්‍යාපෘති පළාත් පාලන ආයතන හෝ වෙනත් ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු සමඟ සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම.
  8. පළාතේ අනෙකුත් ආයතන සමඟ ඒකාබද්ධව හෝ ස්වාධීනව ලිපි ලේඛන, වාර්තා, පොත්පත්, තොරතුරු සහ දැන්වීම් පළ කිරීම සහ කසළ කළමනාකරණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම.
  9. අධිකාරියේ අරමුණු හා සමාන අරමුණු ඇති අනෙකුත් දේශිය සහ විදේශීය සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීම.
  10. අපද්‍රව්‍ය ව්‍යාප්තිය නැවැත්වීමට ක්‍රම සහ විධි සෙවීමට, මහජනතාව දැනුවත් කිරීමට සහ ඒවාට අදාළව යම් යම් ක්‍රියාමාර්ග නියම කිරීමට පර්යේෂණ පැවැත්වීම.

ආයතනික ව්‍යුහය

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කරන ලද තනතුරු 25කින් සමන්විත කාරයමණ්ඩලයක් සමඟ 2005 දී අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කරන ලදී. පසුව අධිකාරියේ සේවා අවශ්‍යතා මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව සේවක සංඛ්‍යාව 40 ක් දක්වා වැඩි කරන ලදී.

මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීමත් සමඟ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සතු කාර්ය මණ්ඩලය පුළුල් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගන්නා ලදී. ඒ නිසා මිහිසරු මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ඇතිව බඳවා ගන්නා ලදී. දැනට අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ වර්තමාන සම්පූර්ණ මානව සම්පත් ධාරිතාව 110 කි. මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයට අනුයුක්ත සේවකයින් කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අතර දැනට කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු මුළු කාර්ය මණ්ඩලය 70 ක් පමණ වේ. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් පුද්ගලයින් (පුහුණුවන්නන්/ සීමාවාසික) සඳහා ඔවුන්ගේ ඉල්ලීම් මත පුහුණු අවස්ථා ද ලබා දේ.

3.1 රූප සටහන මඟින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සංවිධාන සටහන නිරූපනය කරයි. 2007 අංක 1 දරන කසළ කළමනාකරණ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ බලය කළමනාකරණ මණ්ඩලය වෙත පැවරී ඇත. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියෙහි අධ්‍යක්ෂවරයා කළමනාකරණ මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන විධායක නිලධාරියා වේ. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ප්‍රධාන වශයෙන් තාක්ෂණික, මූල්‍ය, පාලන සහ නීති යන අංශ හතර හරහා ක්‍රියාත්මක වේ. මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන පරිපාලනය කරනු ලබන්නේ තාක්‍ෂණික අංශය මගිනි. මන්දයත් දෛනික මෙහෙයුම් බොහොමයක් තාක්‍ෂණික කාරණාවලට සම්බන්ධ වන බැවිනි. එබැවින් මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානවල පරිපාලනය ප්‍රධාන වශයෙන් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ තාක්ෂණික අංශයේ විෂය පථයට අයත් වේ.

තාක්ෂණික අංශය

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මූලික වගකීම වන බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ සැපයීම - ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ එහි තාක්ෂණික අංශය විසිනි. තාක්ෂණික අංශයේ මෙහෙයුම් කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ (තාක්ෂණ හා පුහුණු) විසින් සිදු කරනු ලබන අතර ප්‍රධාන විධායක නිලධාරිගේ මගපෙන්වීම යටතේ අංශයේ කටයුතු ඉටු කරනු ලැබේ. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ තාක්ෂණික පුහුණුව අධීක්ෂණය කරනු ලබන්නේ සහකාර අධ්‍යක්ෂ විසින් ය. අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් සොයා බැලීම දිස්ත්‍රික් කළමනාකරුවන් හරහා සිදු කෙරෙන අතර දිස්ත්‍රික් කළමනාකරුවන් යටතේ, කලාප කළමණාකරුවන් අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතුවල නිරත වේ. මෙම දිස්ත්‍රික් කළමනාකරුවන් සහ කලාප කළමණාකරුවන් ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසකි. මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානවල සේවකයන් හැර තාක්ෂණික අංශයේ මුළු සේවක සංඛ්‍යාව 18 කි.

පරිපාලන අංශය

පරිපාලන අංශය අධිකාරියට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කරයි. ප්‍රධාන වශයෙන් මානව සම්පත් කළමනාකරණය කිරීමේදී අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ඉලක්ක වෙත ළඟා වීමට එම අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ගේ ප්‍රධානීත්වයෙන් ක්‍රියාත්මක වන පරිපාලන අංශය, පරිපාලන නිලධාරියෙකු සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන අතර එහි මුළු සේවක සංඛ්‍යාව තනතුරු 8කි.

මූල්‍ය අංශය

ආදායම් මත පදනම් වූ මුදල් ප්‍රවාහ කළමනාකරණය, වත්කම් සහ වගකීම් කළමනාකරණය, භාණ්ඩ සහ මුදල් කළමනාකරණය සහ මූල්‍ය වාර්තාකරණය යන කටයුතු මූල්‍ය අංශයේ ක්‍රියාකාරකම්වලට ඇතුළත් වේ. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පළාත් මූල්‍ය රෙගුලාසි සහ භාණ්ඩාගාර චක්‍රලේඛ සහ උපදෙස් වලට යටත්ව කටයුතු කළ යුතු බැවින්, මූල්‍ය අංශය මූල්‍ය විනයට අනුකූලව තීරණාත්මක සහ වගකිවයුතු කාර්යභාරයක් ඉටු කරයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල්) ගේ ප්‍රධානත්වය යටතේ සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය) සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩලය ඇතුළුව එහි තනතුරු 8කින් සමන්විත කාරයමණ්ඩලයක් සේවය කරයි.

නීති අංශය

නීති අංශය යනු බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කටයුතු සුමටව පවත්වාගෙන යාමට උපකාර වන තවත් පහසුකම් සපයන අංශයකි. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා යටතේ එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන සහකාර අධ්‍යක්ෂ (නීති) සහ තවත් නීතීඥවරයෙකුගෙන් නීති අංශය සමන්විත වේ. මහා පරිමාණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇතුළු සියලුම නීතිමය කටයුතු නීති අංශය විසින් හසුරුවනු ලබන අතර එහි මුළු සේවක සංඛ්‍යාව දෙදෙනෙකි.

"මිහිසරු" සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන

මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන පොකුරු පාදක අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහාත්, පරිසර හිතකාමී ලෙස ඔවුන්ගේ අපද්‍රව්‍ය සැකසීමට සහ බැහැර කිරීම පිණිස පළාත් පාලන ආයතනවලට සහ පුද්ගලික අංශයට අවශ්‍ය සෘජු සේවා සැපයීම සඳහාත් ආරම්භ කරන ලදී. වර්තමානයේ මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන 4ක් කරදියාන, පොහොරවත්ත, හෝමාගම සහ පෙතියාකන්ද යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ තාක්ෂණික අංශය තාක්ෂණික මාර්ගෝපදේශ සපයන අතර දෛනික මෙහෙයුම් අදාළ කාර්ය සම්බන්ධ කළමනාකරු විසින් පරිපාලනය කරනු ලැබේ. මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන හතරේම 70 දෙනෙකුගෙන සමන්විත කාර්යමණ්ඩලයක් සේවය කරන අතර ඔවුන් සියලුදෙනා කොන්ත්‍රාත් පදනම මත සේවයකරයි. ව්‍යාපෘති කාර්ය මණ්ඩලය ස්ථිර සේවක සංඛ්‍යාවට අන්තර්ග්‍රහණය කිරීමට දැනට අධිකාරිය යෝජනා කර ඇත.

මිහිසරු ක්ෂේත්‍ර පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය

ක්ෂේත්‍ර පර්යේෂණ, පුහුණුව සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ක්‍රමානුකූල මධ්‍යස්ථානයක දිගු කාලීන අඩුව පිරවීම සඳහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් 2022 වසරේදී මිහිසරු පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. මෙම මධ්‍යස්ථානය කැස්බෑව, කරදියාන ප්‍රදේශයේ මනරම් පරිසරයක ඉදි කළ දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, සාකච්ඡා ශාලා, විද්‍යාගාර, පුස්තකාල, ආපනශාලා සහ විනෝදාස්වාද පහසුකම් වැනි නවීන පහසුකම්වලින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා ඇත.

මෙම පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ මූලික අරමුණ වන්නේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිවල නියැලීම සඳහා උනන්දුවක් දක්වන දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයන්ට පුහුණු කිරීම්, පර්යේෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අවස්ථාව ලබා දීමයි. මෙම මධ්‍යස්ථානය බස්නාහිර පළාතට පමණක් නොව අනෙකුත් පළාත්වලට මෙන්ම විදේශිකයන්ටද සිය සේවාවන් සපයයි. මෙම මධ්‍යස්ථානය තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති අතර එය ඩිප්ලෝමා සහතික පාඨමාලා, සම්මන්ත්‍රණ, ජාතික වෘත්තීය සුදුසුකම්, මාර්ගගත පුහුණුව, වීඩියෝ සම්මන්ත්‍රණ, කෙටි කාලීන පාඨමාලා සහ සේවාස්ථ පුහුණු වැඩසටහන් පවත්වයි.

සිය පාර්ශ්වකරුවන්ට යාවත්කාලීන සහ ගුණාත්මක සේවාවන් සැපයීම සඳහා මෙම පුහුණු මධ්‍යස්ථානය පිළිගත් විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.